Anuuthura

Vocals Vidu Abhayasinghe
Music & Melody Lahiru Sandeep
Lyrics Kavindu Millagala
Composed,Mix & Mastered Lahiru Sandeep
Flutes Thushara Wedage, Nirosha Priyadarshana
Violin Vishva buddika

දැදුරු නෙත් අග පිපුණු පිනිදිය
ස්වේත වළාවන් මතට ඇවිත්
නිමල පැතුමක අමිරි මතකය
දුරු දසුනකට යා කළා..

ඔබ මිදුණේ සත්‍ය සොයා
තුටු වෙම් අද ඔබෙ පාද දොවා
පරදා මරසෙන් ඔබ මතුදා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා

එතෙර වන්නට යාත්‍රාවක
අතැර යන දෙනුවන අයා
අයැද නවතින ලෙසින් කෙළෙසට
නොම කියන් හද තිර කළා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා

විහිදි දම්රස පිරූ හදවත
එතෙර යන බව ඉඟි කළා
නොනිමි පෙම් රස සඟව නිහඬව
අමා ගංතෙර වෙත ගියා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා

අනුඋතුරා හැඳින්වීම

ශ්‍රී ලාංකිකයා අතීතයේ පටන් බෟද්ධ සංස්කෘතික දායාදයන් සමඟ උරෙන්උර ගැටෙමින් ජීවත් විය. හෙතෙම අධ්‍යාත්මික ශික්ෂණය ඔස්සේ ස්වකීය දිවි සරසා ගැනීම තුළින් මහත් වූ පහන් සිත් ඇති කරගත්තෝය. ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව බෟද්ධ දර්ශනය තුළ හැදෑරීම් කිරීමටත්, අනුගමනය කිරීමටත් නිරතුරු ඉඩ ප්‍රස්තා විවර විය. ගිහි ජීවිතයේදී අප අත්දකින සිදුවීම් හා ක්‍රියාදාමයන් නිසා ගිහිගෙය හැරයාම බෟද්ධ සංස්කෘතික ආභාෂය තුළ විරළ වූවක් නොවේ. එදා සිද්ධාර්ථ යුවරජ විසින් යශෝධරාව සහ ඇගේ නිමල ප්‍රේමය අත් හරිමින් පෘථුල නිර්වාණ මාර්ගය සොයා ගිහි ගෙය හැරයාම සිදුකළා සේම අද වන විට පවා ගිහි ජීවිතයේ කටුක, අමිහිරි අත්දැකීම් මතින් පැවිදි දිවිය කරා එළඹෙන දනන් බොහෝ සෙයින් දක්නට ලැබේ.

වර්තමානය, අනාගතය පැසසෙන්නේ අතීත ක්‍රියාවලීන් අනුභූති කොට යැයි පැවසීම හුදු ප්‍රබන්ධයක් දැයි අංශුමාත්‍රික සැකයක් ඇති කරන්නකි. මන්දයත් මානව සංහතියේ අතීත ක්‍රියාකාරීත්වයන් වර්තමානය තුළින් ගම්‍යමාන වන බැවිනි. එහෙයින් බෟද්ධ සංස්කෘතිය තුළ ද නිමග්නව පවතින ගිහිගෙය හැරයාම වූ කල්හි එවන් වූ අතීත වතක වත්මන් හා අනාගත නිශ්චිතයක් බව දැක්විය හැකිය. “අනු උතුරා” වූ කලී එවන් අතීත පුනරාවර්තනයකි. ගිහිගෙයි අනේක දුක් කම්කටොළු හමුවේ ස්වකීය දිවියේ සැපත නම් ප්‍රේමය හෝ ගිහිගෙයි විසීම නොවන වග පසක් කරගත් යුවතියක විසින් ගිහිගෙයින් නික්ම යෑමේ සංවේදී කතා පුවත ගීත සන්දර්භය තුළ ගැබ්ව පවතින වෘත්තාන්තයයි. ගිහි කළ ඇගේ පෙම්වතා විසින් මෙහෙණියට නිර්වාණය ප්‍රාර්ථනා කරනු ලබයි. හෙතෙම අපරිමිත වූ සෙනෙහස තුළින් විද්‍යමාන වන ජීවිත පරිත්‍යාගය මෙහිලා නිරතුරු හෙළිවන සත්‍යයකි. හුදු ඒකාකාරී ජීවන දැක්මකින් තොරව නිර්වාණාවබෝධය පිණිස කරනු ලබන කැපකිරීම අප සමාජය තුළ දක්නට ලැබෙන්නේ ඉතාම අල්ප වශයෙනි.

“ඇය” ගිහි සමයෙහි යෟවනියක විලස ස්වකීය හැඟීම් පාලනය කරගනිමින් අන් ස්ත්‍රීන්ට ආදර්ශමත් වූවාය. ඇගේ තීරණය කෙළෙස් හැර යාම වූ බැවින් තම පෙම්වතා ඊට මැදිහත් නොවී බාධා නොකර සිටීම අතීතයේ සිද්ධාර්ථ, යශෝධරා හැරයාම සිහිපත් කරන ක්‍රියාදාමයකි. හුදු ඒකාකාරී සෟන්දර්ය අත්දැකීමෙන් මිදී ප්‍රකෘතිය කරා යන ගමනේදී නිශ්චිත සංධිස්ථානයක් ලෙස “අනුඋතුරා” ගීතය දැක්විය හැකිය. ලහිරු සංදීප් විසින් සංගීත සුසංයෝජනය කරන ලද මෙම ගීතය විදූ අබේසිංහ විසින් ගායනා කරනු ලබයි. ඔබේ රසභාව ප්‍රකම්පනය වන තවත් සුවිසෙස් නිර්මාණයක් ලෙස අනු උතුරා යළි යළිත් කර්ණ පෝෂණය කරනු ඇත.

– විශාරද කවිදු මිල්ලගල –

Next Post

Previous Post

© 2024 Lahiru Sandeep

Designed by Madhurasri